Saturday, November 29, 2014

පුංචි පවුලක පුංචි කතාවක්..


න්න එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක පුංචි දඟකාර පුතෙක් එයාගෙ අම්මයි තාත්තයි එක්ක ආදරෙන් ජීවත් වුණා. මේ පුංචි පුතා පෑන් පැන්සල් පාට කෑලි අතට ගනිද්දි එයාගෙ අම්මා එයාට කියල දීල තිබුණ 
" පුතේ, අපි මේ ඉන්න ගේ අපේ නෙවෙයි.අපිට ඉන්න තැනක් නැති නිසා අර ශාන්ත මාමලගෙන් ඉල්ලගෙන තියෙන්නෙ මාසයක් ගානෙ සල්ලි දෙන්න ඕනෙ. ඒ නිසා බිත්ති වලවත් බිමවත් ඉරි අඳින්න එපා පුතේ.." පුංචි පුතත් ඒක හිතට ගත්ත බවක් පේන්න තිබුනා. දවසක් බොහෝම හදිස්සියෙන් පුංචි පුතා උදැල්ලක් අරන් කුළී ගෙදර මිදුලෙ වළක් කපනව. උදළු මිටෙන් බගයක්වත් උස නැති , මොන්ටිසෝරි යන්නවත් වයස මදි කොලු පැංචා.. පට් පට් ගාල වැඩ.. අම්මා ඇහුවා, ඇයි පුතේ ඔය මිදුල මැද.. අම්මට වැඩ වැඩි කරනවනේ ඔයා.. මොකටද ඔය වළ? 

පුතා හෙන සීරියස්.. 
            "අම්මේ.. අපි තුන් දෙනාට ඉන්න මෙතන ගෙයක් හදන්නයි මම මෙ වළ කපන්නේ.. එතකොට මේ  ශාන්ත මාමලගෙ ගෙදර ඉන්න ඕනෙ නෑනෙ. "
අම්මගෙ ඇස් වල කඳුළු. අම්මටත් පුංචි කාලෙ ඔහොමම හිතුණා. ගෙවල්නම් ඒවා හදාගන්න මිනිස්සුන්ට අයිතියි තමයි. ඒත් මේ ඉරහඳ යට ඉපදුණු හැමෝටම ඉඩම් අයිති නැත්තෙ ඇයි..කෙනෙකුට අක්කර ගානක් තියෙද්දි තවත් කෙනෙකුට පර්චස් 10ක් වත් නැත්තෙ ඇයි? පුංචි පුතා තාම පොඩි වැඩියි ඕවා තේරුම් කතා කරන්න. 
ඔහොම ඉද්දි අම්ම දවසක් පුතු පැටියගෙන් ප්‍රශ්නයක් අහනවා. අම්මා පොඩි කාලෙ ඉදන්ම හැම දෙයක් ගැනම ඇත්ත විතරක් කියල පුරුදු නිසා අම්ම දෙයක් කිව්වොත් ඒක බොරුවක් වෙන්නෙ නැහැ කියලා පුතා දන්න්නව 
"මගෙ රන් කැටේ.. අම්මා ටිකක් දුර රස්සාවකට  යන්නයි හදන්නෙ. මං පුතාට කියලා දීලා තියනවනෙ කාන්තාර රටවල් ගැන. අන්න ඒ වගේ රටකට යන්නයි හදන්නෙ. පුතා තාත්ත එක්ක ඉන්නවද කියන දේ අහගෙන? 
"පුතාටත් එන්න බැරිද අම්මේ..?"
 "අම්ම යන ප්ලේන් එකේ ලණුවකින් තව ප්ලේන් එකක් ගැට ගහලා ඒකෙ පුතා නැගල එන්නද අම්මෙ..? "
"මං බෑග් එකක් ඇතුළෙ එන්නද..?"
ප්‍රශ්න ගොඩා.....ක්.

 එහෙම බැහැ පුතේ.. අම්ම නැතුවත් අඬන්නැතුව ඉන්නවද කියන්න  ? 
" හා"  
ලොකු විශ්වාසෙකින් තනි වචනෙ උත්තරයක්.. ලොකු පොරොන්දුවක්.  

අදටත් සුදු තාත්තයි රන්කැටි පුතයි ඒ පොරොන්දුව රැකගෙන ඉන්නවා. දැනටත් අම්ම නිවාඩුවකට ගිහින් එද්දි චූටි පුතාගෙන් අහන්නෙ "අඬන්නෙ නැතුව ඉන්නවනම් විතරක් එයාපෝර්ට් යන්න පුළුවන්. 
හා ද? " 
"පොඩ්ඩක් අඬන්නනම් ඕනෙ හැබැයි.."
"එහෙමනම් බැහැ. ගෙදරට වෙලා ඉන්න." 
"හා හා අඬන්නෙ නැහැ. එක්ක යන්න."

 කියපු විදියටම අම්ම ඇතුළට යද්දි චූටි පුතා අඬන්නෙ නැතුව ටටා කියල ඉන්නවා. ඒ නිසා අම්මටත් අඬන්නෙ නැතුව ඇතුළට යන්න පුළුවන් වෙනවා. 
" දුක හිතුන අම්මෙ. ඒත් ඔයා අඬන්න එපා කියපු හන්ද ඇඬුවෙ නෑ..."
පස්සෙ කෝල් එකකින් ඇහෙනවා.
 පහුගිය ගිම්හාන කාලෙ නිවාඩුවට අම්ම ආපු වෙලේ අම්මයි තාත්තයි පැටියයි එයාලගෙම ගෙදරක කිරි උතුරවලා බතක් උයනව. 



"අම්මෙ.. ගෙපල් කපන දවසෙ මමත් ගොඩක් මහන්සි වෙලා විසි කැති ගැහුවා.."
පුංචි පුතා සතුටින් එයාගෙ  සම්මාදම විස්තර කරනව..

නිවාඩු ඉවර වෙලා අම්ම වෙන් වුනාම රන් කැටියා ඒ සතුට ඒ විදියටම තියාගෙන තාත්තට කීකරුව ඉන්නවා. මොන්ටිසෝරි යනව. එයාට යන්න තාත්ත ලොකු ඉස්කෝලයක් හොයනව කියල යාළුවන්ට කියනව. 
එයාගෙ දඟ වැඩත් නිමක් නැහැ. ඒව  ඉතින් අම්මට බලන්න වෙන්නෙ කෙටි නිවාඩුවකට ගියාම තමයි. කුස්සියේ ටැප් එකෙන් වතුර අරන් ගිහින් මිදුල මඩ කරනවා. 
"අම්මේ මම පුද්ගලික මඩ වළක් හදන්නයි යන්නේ.. "
ටික වෙලාවකින් මඩ නාගෙන කුස්සියට එනවා. අම්මගෙ කේන්තිය නිමක් නැහැ රන් කැටේගෙ ඇඳුම් දැක්කම. 
" සුදු නෝනා.. මට වතුර ටිකක් දෙනවද බොන්න..?"
ඔය ඉතින් අම්මව හිනස්සවන්නනෙ. 
අම්ම අහක බලාගෙන කුස්සියෙ වැඩ. 
"මම කැමතියි නෝනට.. නෝන කැමති නෑ මට.."
 ඔන්න එතකොට නම් අම්මගෙ කේන්තිය හිනාවකට පෙරළෙනවා..

මේ සැරේ වාරාවසාන විවිධ ප්‍රසංගයෙ හුඟක් දේවල් වලට රන් කැටේ ලෑස්ති වෙනවා. 
" අම්මේ.. මම දන්ත කුමාරයට ඉන්නවා."
 "ෂා.. හොඳයිනෙ පුතේ.. කවුද හේමමාලි?" 
" ඔනෙලි" පුතා හිනා වෙලා  කියනව. 
"මට තියෙන්නෙ එයාට කුඩේ අල්ලන්නයි. මේ කැලැන්ඩරේ ඉවර වෙලා ඊළඟ කැලැන්ඩරේ  ( ඊළග මාසෙ කියන එක) තමයි කොන්සර්ට් එක. ඔයත් ආවොත් බලාගන්න පුළුවන්. අම්මේ.. මම නළපාන ජාතකයෙ රකුසටත් ඉන්නවා.. මේ බලන්න රකුස ගොරවන හැටි.. ග්ර්ර්ර්ර්ර්ර්...." 

අම්මටත් දුකයි පුතාගෙ කොන්සර්ට් එක බලන්න යන්න වෙන්නෙ නැති එක ගැන. 

අම්මට ඕනෙ රන් කැටි පුතා හොඳ මිනිහෙක් කරන්න. පඬුරු පාක්කුඩම් නොදී තමන්ගෙ හැකියාවෙන් හැදියාවෙන් ගුරුවරුන් සතුටු කරන දරුවෙක් වෙනවා බලන්න. ගහක කොළක සිසිල අඳුනන තවත් මිනිහෙක්ගෙ දුකක් වේදනාවක් තේරෙන මිනිහෙක් වෙනවා දකින්න. 

එතකොට අපි බල නොකළත් ඒ දරුව ඉගෙන ගනීවි. අකුරු වලින් ඔබ්බට ගිය ජීවිතය ඉගෙන ගනීවි.


අද ඒ රන් කැටියගෙ උපන් දිනේ..

අම්මා ඈත  රටක ඉඳන් ඔයාට සුභ පතනවා පුතේ.. අම්මගෙයි තාත්තගෙයි ජීවිත සතුටින් තියනවට ඔයාට ගොඩාක් ස්තුතියි.

මෙන්න ඔයාට පුංචි තෑග්ගක්.. ( from youtube.com)


" වැදූ මවත් ඔබ දිනූ බිමත් රැකගන්න ඔබේ ඇස් දෙක වාගේ
එපා නමන්නට අයුක්තියට හිස යුතුකම සුරකිමු පණ වාගේ.."

Friday, June 20, 2014

ප්‍රමාද වී ලියූ කවියක්


 (ප්‍රමාද වී හෝ කිරීම පසුතැවිල්ල යම් පමණකට අඩු කිරීමට හේතුවක් වේ. - ස.ප්‍රි. )

"අවුරුද්දත්  කිට්ටු   කිට්ටු
එරබොදු මල් පොට්ටු පොට්ටු"
අවුරුද්දට අපේ  ගෙදර කැවුම් හදනවා
අම්මි ගෙදර නොආවාට කොහා අඬනවා

මේ පාරත් අවුරුද්දට
අම්මි එන්නෙ නැහැලු කොහෝ
සිසිර නිවාඩුවටලු එහෙ නිවාඩු දෙන්නේ..
ඕමානෙට ටටා කියා
අපි දෙන්නට තෑගි අරන්
වෙසක් පොසොන් පහු වුනාම
ගම රට එන්නේ

 කොහෝ උඹත් මං වාගෙම
නාඬ ඉන්න පුරුදු වෙයන්
කැවුම් කොකිස් පිඟානක්ම උඹටත් දෙන්නේ
එහේ ඉඳන් අම්මිත් අද කිරිබත් හෙම හදනවාලු
එක මේසෙක කන්න නැතැයි
මොටද අඬන්නේ
වෙබ් කැම් එක දාගෙන අපි කිරිබත් කන්නේ

Monday, June 16, 2014

"සක්විති රජුන්" ගැන ...

අද අරගෙන එන්නේ අප ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කල ඒ නිර්මල ධර්මයේ අඩංගු සූත්‍ර දේශනාවක්. නමුත් මෙය ගැඹුරු නැහැ. අපට ඉතා පහසුවෙන් තේරුම් ගත හැකිවාක් මෙන්ම එය තේරුම් ගත් විට වර්තමානයේ සමාජයේ ඇති වන ව්‍යසනයන් පිළිබඳව අපි කම්පා වෙන එකකුත් නැහැ.

ඔබ අහලා ඇති  "සක්විති රජුන්"  කියන වචනය. සමහර ගීත වල කියවෙන විදියටනම් ඇයගෙ ආදරය ලැබෙනවනම් ඒක සක්විති රජකමට වඩා වටිනවලු. ඒත්  මේ සූත්‍ර දේශනාවේ අඩංගු රසවත් කතාව තෙරුම් ගත්තාම ඔබේ අදහස වෙනස් වෙයි.

මේ තමයි චක්කවත්ති සිහනාද සූත්‍රය. සරල සිංහලෙන් මේ පෝස්ටුව ලිව්වේ .Niwanmaga.com  හි ධර්ම දේශනාවක් ඇසුරු කරගෙනයි. ඇත්තටම මේක කළේ නම ගන්න නෙවෙයි. දීර්ඝ වේලාවක් එක තැන ඉදගෙන බණ අහන්න අකමැති අපේ පරපුර බ්ලොග් පෝස්ට් එකකින් හරි මේක කියවයි කියලා හිතලයි.



ඉතා ඈත අතීතයේ  එක් යුගයක මිනිසුන්ගේ පරමායුශ අවුරුදු  80 000 ක් තරම් වෙනවා. මේ කාලයේදී මිනිසුන්ට ලෙඩ රෝග වැළඳෙන්නේ නැහැ. ඔවුන් තම පරමායුෂ අවසන් කර මිය යනවා.මේ කාලයේ දල්හනේමි නම් සක්විති රජ කෙනෙක් ජීවත් වෙනවා. සක්විති රජ කෙනෙක් රජ කමට පත් වෙනකොටම එ සමගම ඉර්දියෙන් පහළ වෙන මැණික්  7 ක් තිබෙනවා.  එයින් පළමුවෙන්ම පහළ වන්නේ චක්‍ර රත්නය. ඉන්පසු පිළිවෙළින් හස්ති රත්නය, අශ්ව රත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී  රත්නය, ගෘහපති රත්නය සහ පුත්‍ර රත්නය පහළ වෙනවා. මේ ස්ත්‍රී රත්නය එනම් සක්විති රජතුමාගේ දේවිය දෙව් ලොවින් බිමට බසින බව කියවෙනවා.

මෙ චක්‍ර රත්නය කියන්නෙ කරකැවෙන මැනිකක්. එහි හර එනම් දැලිස දහසක් තිබෙනවා. රජු එයට පැන් වඩනවා. මෙසේ  පැන් වඩන විට මේ මැණික කරකැවෙමින් ගමන් කරනවා. එවිට ඇත් , අස්, රිය, පාබල නම් සිව් රඟ සේනා මේ මැණික පසු පසින් යනවා.  ඉතින් ඒ සක්විති රජු රාජධානියෙන් රාජධානියට යනවා. ගුණ දහම් දේශනා කරනවා. එවිට ඒ රජධානි වල සිටින රජවරු ඔහුට අවනත බව ප්‍රකාශ කරනවා. එවිට සක්විති රජු මේ රජවරුන්වත් පංච ශීලයේ පිහිටුවලා අවවාද දෙනවා.මෙලෙස කරකැවෙමින් ගොස් එය නගරයට ඇතුලු වන  දොරටුව ළඟ නතර වී ස්ථිරවම තැන්පත් වෙනවා.
මෙලෙස අවුරුදු දහස් ගණනක් රජ කළ පසු දිනක් රජු රාජ පුරුශයෙකුට කියනවා අර චක්‍ර රත්නය තිබෙන තැනින්  පොඩ්ඩක් හරි වෙනස් වුනොත් තමන්ව දැනුවත් කරන්ටය කියලා.  මෙලෙස අවුරුදු දහස් ගනනක්  ගතවු පසු දිනක් රාජ පුරුශයන් දකිනවා අර චක්‍ර රත්නය තිබුනු තැනින් මඳක් වෙනස් වී ඇති බව. ඉතින් ඔවුන්  ඒ බව වහාම රජ තුමාට දැනුම් දෙනවා.
එතකොට සක්විති රජ්ජුරුවො කියනවා මෙන්න එහෙම. “ආ එහෙමද? එහෙමනම් තව ටික දවසකින් ඒක අතුරුදහන් වෙලාම යයි. ඒ කියන්නෙ මගේ ආයුශ ඉවර වේගෙනයි යන්නෙ. මම දැන් මනු ලොව රජ සැප වින්දා ඇති. මට දැන් දිව්‍ය සැප විඳින්න යන්න තියෙනවා. ඒ නිසා මම යනවා පැවිදි  වෙන්නට.”

 එහෙම කියලා තමන්ගේ දරුවාට රජකම භාර දීලා ඔහු යනවා පැවිදි වෙන්නට.
එහෙම පැවිදි වෙලා දවස් 7 කින් අර  චක්‍ර රත්නය එහෙම ඇත්නම් චක්‍ර මානික්‍ය අතුරුදන් වෙනවා
මෙ වෙද්දි  රජ කම උසුලන්නේ පුතා. පුතා ඉක්මනින්ම යන්වා රාජකීය  ඍෂි වරයා එනම් පැවිද්දට ගිය තාත්තා හමු වන්න.
"අනේ ඍෂි වරයාණෙනි , අර චක්‍ර මානික්‍ය දැන් අතුරුදන් වෙලා නොවැ."
රජතුමනි, ඒ ගැන දුක් වෙලා වැඩක් වෙන්නෙ නැහැ. එය රජකම මෙන් පරපුරෙන් ඔබට හිමි වන දෙයක් නොවන බව මතක තබා ගන්න. ශෝක නොවන්න. එය හිමිවන්නෙ ආර්‍ය සක්විති වත් පිළිපදින සක්විති රජ කෙනෙකුටම පමණයි. ඔබටත් එය හිමි කරගන්න  අවශ්‍යනම්  නියමාකාරයෙන් සක්විති වත් පුරුදු කරන්න.. එහෙම කරලා පුන් පොහෝ දවසක නාලා පිරිසිදු වෙලා සඳළු තලයට  ගිහින්   සිල් සමාදන් වෙලා ඉන්න. එතකොට මේ චක්‍රරත්නය නැවත පහළ වෙයි."

"අනේ පියණෙනි ඒ සක්විති වත්  මොනවද  කියලත්  කියා දෙන්න."
පියා ඒ ආර්‍ය සක්විති වත් කියලා දෙනවා මෙන්න මෙහෙම.

  1. ධර්මයටම සලකන්න . ධර්මයටම  සත්කාර  කරන්න.  ධර්මයටම  ගෞරව කරන්න. ධර්මයටම පූජා කරන්න.
  2. ධර්මයම ධජය කරගන්න. එනම් රජ්‍යයේ කොඩිය සේ ධර්මයම උස්ව පෙනිය යුතුයි.
  3. ධර්මයම අධිපති කරන්න. ධාර්මිකව මිනිසුන්ට රැකවරණය සලස්වන්න.
  4. තමන්ගේ සේනාවටත් ධාර්මිකව සලකන්න. තමන්ගේ ක්ෂතීය නෑයන්ටත් ධාර්මිකව සලකන්න.
  5. බ්‍රාහ්මණ ගෘහපති වරුන්ට ධාර්මිකව සලකන්න.
  6. ඈත ජනපද වල ඉන්න අයටත් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ටත් ධාර්මිකව සලකන්න.
  7. සතුන්ට පවා ධාර්මිකව සලකන්න.
  8. රාජ්‍යය තුළ කිසිම අධර්ම වැඩක් සිදු නොවන්නට වග බලා ගන්න.
  9. මුදල් නැති අයට මුදල් බෙදා දෙන්න.
  10. ඔබගේ විජිතය තුළ වැඩ වසන සිත දියුණු  කිරීමට වෙහෙසෙන ගුණ ධර්ම දියුණු කළ ආර්‍ය ශ්‍රමණයන් වහන්සේලා සොයා යන්න. ඔවුන් ඇසුරු කරන්න.  ගොස් කුසල් දහම් ගැන එතුමන්ලාගෙන් නිරන්තරයෙන් ඉගෙන ගන්න. අසා දැන ගන්න. අකුසල් මොනවාදැ යි අසා දැන ගන්න. කළ යුතු නොකළ යුතු දේ අසා දැන ගන්න. කරන සියලු දේ අසා කරන්න. 

ඉතින් පුත් රජතුමාත් මේ විදියට පිය ඍෂිවරයා කියූ පරිදිම සියල්ල ඉටු කරනවා.   නැති බැරි මිනිසුන්ට කුඹුරු හරකා බානාදිය ලබා දෙනවා. මිනිසුන් ධනවත් වෙනවා. රජධානිය සශ්‍රීක වෙනවා. හොඳ  නරක ගැන කතා බහක් ගොඩ නැගුනා. මිනිස්සු නරක සියල්ල අයින් කළා. කුසල් දහම් හුරු කළා. මේ සියල්ල කළ පසු දිනක් පුත් රජතුමා පොහෝ දිනක සිල් සමාදන් වී සිටිනවා. එවිට පිය රජතුමාට වගේම මේ  පුත් රජතුමාටත් අර චක්‍ර මානික්‍ය පහළ වෙනවා. එය ඉර්දි බලයෙන් කරකැවෙමින් ගමන් කරනවා. ඒ පසුපසින් පෙර  පරිදිම චතුරන්ගනි සේනාවත් ගමන් කරනව. මේ ඉදියට රාජ්‍යයෙන් රජ්‍යයට යන විට ඒ සියලුම රාජ්‍යයන් සක්විති රජුට අවනත වෙනවා. යටත් වෙනවා. එවිට සක්විති රජු වැසියන්ට මේ විදියට දහම් දේශනා කරනවා.

වැසියනි, 
1. මනුෂ්‍ය ඝාතන කරන්න එපා.
2. සත්ව ඝාතන කරන්න එපා.  
3. අනුන් සතු දෙයක් ගන්න එපා.
4.වැරදි කාම සේවනයෙහි යෙදෙන්න එපා.
5. බොරු කියන්න එපා.
6. සුරා පානය කරන්න එපා. 

ඇත්තටම මිනිසුන් මේවා හරියටම පිළිපැද්දා. ඉතින් මේ සක්විති රජුත් අවුරුදු දහස් ගනනක්  රජකම් කළා. මේ විදියට පියාගෙන් පුතාට අකාරයෙන් පරපුරෙන් පරපුරට යන පරිදි පරම්පරා 7ක්ම සක්විති රජවරු පහළ එනවා, ඔවුන්ගේ පින් මහිමයටම චක්‍ර රත්නයත් පහළ එනවා. මෙලෙසම හත් වෙනි සක්විති රජුත් චක්‍ර රත්නය තිබූ තැන වෙනස් වූ බව දැනගෙන  මහණ වෙන්න යනවා. පුතා රජකම බාර ගන්නවා. කලින් හැම විටම වුණා වගේ එවරත් සත් දවසකින් මානික්‍ය අතුරුදන් වුණා. පුතා ඉමහත් ශෝකයට පත් වුනා. මීට කලින් ඒ පරපුරේ හිටපු හැම පුතෙක්ම මැණික අතුරුදන් වුණාම කළේ පිය තුමාගෙන් ගිහින් උපදෙස් ගත්තු එකයි. නමුත්  මේ පුතා තමන්ගෙ හිතු මනාපයට පාලනය ගෙන ගියා.  මේ පාලනය තුළ තව දුරටත් සක්විති රජෙකු සතු ගුණ ධර්ම එනම් සක්විති වත් දක්නට ලැබුනේ නැහැ.
මේ බව දැනගත් රජතුමාට උපදෙස් දෙන රජුට හිතවත් පිරිස්  රජතුමා හමුවට ආවා. ඔවුන් කියනවා “ රජතුමනි, ඔබතුමා මේ විදියට හිතු මනාපයට පාලනය ගෙන යන එක හොඳ මදි.  මේ පරපුරේ සිටි අනෙක් රජවරු මෙන් සක්විති වත් ඔබේ ජීවිතයටත් ඇතුලු කරගන්න.”
සක්විති වත් යනු  මොනවාදැයි රජතුමා දැන සිටියේ නැහැ. ඉතින් මේ පිරිස සක්විති වත් සියල්ල පිළිවෙලින් රජතුමාට කියා දෙනවා.  රජතුමාත් එදා පටන් ඒ සියල්ල ක්‍රියාවට නංවන්න උනන්දු උනා. නමුත් එක් දෙයක් හැර. එනම් ඔහු ධනය නැති අයට ධනය දුන්නේ නැහැ. එහි ප්‍රතිපලයක් ලෙස විජිතය තුළ දුප්පත් කම පැතිරෙනවා.
නමුත් ඔහු ඒ පිළිබඳව ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් අවවාද ගන්න ගියෙත් නැහැ. 

මෙන්න මෙතනින් තමයි මේ කතාව වෙනස් වෙන්න පටන් ගන්නේ.  දිනක් එක් දුප්පත් මිනිසෙක් මුදල් නැති කමින්  කුසගින්නෙන් පීඩාවට පත්වෙලා ඉවසන්නම බැරිව අනුන් සතු දෙයක් ගන්න පෙලඹෙනවා.  

ඉතිරි කොටස පසුවට...

Sunday, June 15, 2014

Home Sick again...




සෙවනැලි ගිනිගෙන දැවෙනා  
බිම් කඩ අත හැර දුවන්න..
සිසිල සදන නිල් ගහකොළ 
සෙවණක මොහොතක් රැඳෙන්න
සිතිවිලි මැවු සිහින පොදිය 
හිමි සඳ හා බෙදාගන්න..
මං යනවා ලංකාවට 
ඒ හීනෙට නමක් දෙන්න.

අම්මා එන මඟ බලනා 
රන් පුතුගේ උස බලන්න...
සුදු දුව එනතුරු  හිනැහෙන  
අම්මාගේ  මුව  බලන්න...,
පෙම්බර හිමි අතින් මැවෙන 
පුංචි ගෙදර හැඩ බලන්න..
මං යනවා ලංකාවට  
පුතු  මුව  හසරැල් දකින්න.

Tuesday, June 10, 2014

අබුද්දස්ස කාලේ..

ටිකක් අමුතු පොටෝ ටිකක් හම්බ උනා..
අපිටනම් මේක දැකලා හිනා යයි තමයි.
ඒත් අපේ ආච්චි අම්මා එහෙම ඉන්න කාලෙ මම මේක පෙන්නුවානම් උන්දෑ මොනවා කියයිද ?

නාඩගං !!
කියයි.

කන්ඩ තියෙන බත් ඩිංගටනෙ දෙයියනේ මේ දස වද දීල තියෙන්නෙ..



මේවට තමයි කියන්නෙ බත් නාවනව කියල..








හැබැයි ඉතින් රසය ගුණය රැකෙනවනම්  අවුලකුත් නැහැ නේද  අයිබොවන්ඩ?  

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියනවනෙ..



Friday, March 14, 2014

සුදු හාමිනේ...

තම දරුවන් නොසලකන්නේ යැයි කලකිරීමට පත් වී දෙමව්පියන් වස බීලා - පුවතක් ..



සුදු හාමිනේ...
මට හොඳටෝම මතකයි
උඹල කැන්දාගෙන ආපු දවස...
ඉස්සරෝම හදා දීපු රණවරා කෝප්පෙ  රහ..
මං එක බොනකම්ම
හිනා වෙවී බලං උන්නෙ
හෙට දවස ගැන හීන  
මගෙ මූනෙ පෙණුනාද ?

එදා ඉඳන් දින මාස 
අවුරුදුත් කීයක්නම් ගෙවුණාද?
හැබෑටම සුදු හාමිනේ
ගේ පුරා කිරිසුවඳ පැතිරෙද්දි..
පොඩි කටවල් වැඩි වෙද්දි
බඩගින්න හංගාන
දංකුඩෙත් එවුන්ටම කැව්වාද..?

අනේ අද උන් කොහෙද?
නෑ ඕනෙ නෑනෙ බං...
පත්තරේවත් ගියොත් 
උන්ටමනෙ හොඳ නැත්තෙ..

දැන් ඉතින් කුලියකටවත් යන්ට 
හයි හත්ති මදි වෙච්චි..
අද වගේ දවසකදි
කුරුමිනාසකෙත් මට 
රණවරා මල් රහයි..

ජීවිතේ පුරාවට 
ලඟ උන්නු එකී නොවැ..
යන ගමනටත් ඉතින් 
උඹ නැතිව වෙන කවුද..?
ජීවිතේ බෙදා ගත්තා වගෙම 
මේ කුප්පියත් ඉතිං 
පිරිමැහෙයි හොඳටෝම..

මං - ළමයිංගෙ තාත්තා.
       (ගුණේරිස්)

Friday, February 7, 2014

දරුවන්ට අහන්න දෙන්න හොඳ ගීතයක්..


අපේ පාසලේ උදේ රැස්වීම වෙනුවෙන් දරුවන් ලවා යම් දෙයක් ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. මේ ගැන කල්පනා කරද්දි මට ඉතාම ලස්සන ගීතයක් අහන්නට ලැබුනා. මෙහි අර්ථවත්  බව නිසාම ඔබත් එක්ක බෙදා ගන්න සිතුනා.ඉතාම ලස්සන සරල පදමාලාවක්. නමුත් මේ හරබර වදන් පෙළේ  හිමිකරු හෝ හිමිකාරියනම් මා දන්නේ නැහැ. දන්නවානම් දැනුවත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

ඇත්තටම මෙවන් ගීත දරුවන්ට අහන්න සැලැස්වීම දෙමාපියන්ගේ යුතුකමක්ද වෙනවා.

සෙන්පතියන් ගැන නැව් පතියන් ගැන
කතා අහන කොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒඇයි මගෙ හොඳ අම්මේ

සෙන්පතිකමටයි නැව් පති කමටයි
නම ගිය සිංහල ආරේ
ගති නෑරේ පුත ඒකයි ඔබටත්
ඒ ගැන එතරම් ආසා

මහපඬිදුන් ගැන මහ කිවිඳුන් ගැන
කතා අහන කොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒඇයි මගෙ හොඳ අම්මේ

මහ පඬි රුවනට මහ කිවි වරුනට
තෝතැනි වූ ලක් දූවේ
හෙළ පුතෙකුව ඔබ ඉපදුනු පිනටයි
ඒ ගැන එතරම් ආසා


හේන්කුඹුරු ගැන ගොපලු ලියන් ගැන
කතා අහන කොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒඇයි මගෙ හොඳ අම්මේ

ඈත එපිට සිට ගොවි රජ දහනකි
සෝබන සිරිබර ලංකා
ගොවි කම ඔබටත් උරුම නිසාවෙනි
ඒ ගැන එතරම් ආසා


එඩිතර කම් ගැන බිය නැති කම් ගැන
කතා අහන කොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒඇයි මගෙ හොඳ අම්මේ

එඩිතර  කමටයි බිය නැති කමටයි
පෙර සිට සුපතළ  හෙළයේ
ඉපදුනු ඔබහට ඒ ගති නැතිනම්
එය නොවැ  පුදුමය පුතුනේ..

ගායනය : අමරා / පුලස්ති රණතුංග

පුංචියට visual පාරකුත් දැම්මා ඕං..






Sunday, January 19, 2014

නික්මී යන්නෙමි


 
දිවි හිමියෙන් පැදකුනු කළ පුදසුන
අන් සතු මල් ගෙන සැරසී උන් සඳ
නික්මී යන්නෙමි මේ බිම හැරදා
අන් මගකුත් නැත මේ මග මතු නොව

ඔබයි පෙන්නුවේ දිවි මග සළකුණු 
ආලෝකය සහ අඳුරෙහි වෙනසත්
එහෙත් සබඳ ඔබ හිරු සේ දිලෙමින් 
එළිය කළේ මගෙ ලොව පමණක් නොව

නික්මී යන්නෙමි මේ බිම හැරදා
අඳුරු ගුහාවක සීතල සෙවනට
තනියට මා ලඟ ඉතිරිව ඇත්තේ 
ආත්මගත වූ මතකය පමණකි

අවසානය තව දුරකද නොදනිමි
ඔබ ගැන සිතිවිලි මතකය පමණකි
ආ මග දෙස යළි හැරී බලන්නට
එකම එක වරක් අවසර දුන මැන..

Saturday, January 18, 2014

ශ්‍රී ලංකාවේ කුඩාම අභයභූමිය කුමක්ද ?

මේ සැරේ ලංකාවට ගිය ගමනෙන් නෙලා ගත්තු වටිනාම ඵලය තමයි නුවරඑළි ගමන. රන්කැටෙයි අපේ මහත්තයයි එක්ක ගිය මේ ගමනෙදි වෙනදා නොයන අප්‍රසිද්ධ ස්ථානවලට යන්න  ලැබුනා. ඒ අපේ අස්සයගෙ පිටේ ගිය නිසා. 



මේ ගමන අපේ බ්ලොග් සහෘදයින් එක්ක බෙදා ගන්න හිතුනෙ ඔයාලා නොදන්න දේවලුත් මෙතන තියේවි කියලා හිතුන නිසයි.

                            ගැල්වේ'ස් ලෑන්ඩ් ජාතික වනෝද්‍යානය

ඉස්කෝලෙ යද්දි යන තරමක් ට්‍රිප් ගියේ නුවරඑළියට වුනාට මෙහෙම එකක් ගැන නම් අහලා තිබුනේ නැහැ. කලින්ම වෙන් කරගත්තු නවාතැන හොයද්දි අහම්බෙන් දැකපු මෙන්න මේ බෝඩ් එක නිසා තමයි අපි මේක බලන්න ගියේ.  . 


  
වැඩි ඈතක  නෙවෙයි. නුවරඑළියේ නගර සීමාවෙමයි  මේ ලස්සන කැලේ  තියෙන්නෙ. 1938  මැයි මාසෙ 27 වෙනිදා වනජීවී අභයභූමියක් ලෙස නම් කළ මෙය ජාතික වනෝද්‍යානයක් ලෙස උසස් කරනවා 2006 මැයි 18 වෙනිදා. ශ්‍රී ලංකා  පක්ෂි විද්‍යා සංසදය මගින් පක්ෂින් නැරඹීමට සුවිශේෂ වූ කඳුකර පරිසර පද්ධතීන්  ලෙස නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය සහ ගැල්වේ'ස් ලෑන්ඩ් වන උයන නම් කර තිබෙනවා.



රටඉඳි ගස් අතරෙ ඉඳන් ලංකාවට  එන්න ඇඟිලි ගැනපු මට මේ පාර දැක්කම ඒ දිගේ දුවන්න හිතුනා.


 නගරයෙන් බොහෝ  ඈතට නොගොසින් වනයකට ඇතුලු වී සොබාදහමේ අසිරියත් සමඟ ඒකාත්මික වන්නටනම් හොඳම තැනයි මේ. අපේ රටේ නගර සීමාවක් තුල පිහිටි එකම වන අභය භූමිය මෙයයි.   ( නුවරඑළිය නගරයේ සිට 1 KM පමණ)  2007 වසරේදී ගැල්වේස් ලෑන්ඩ් මෙරට කුඩාම ජාතික වනෝද්‍යානය ලෙස නම් කළා. ඒ නිසාම ගැල්වේස් ලෑන්ඩ් ඉහළ කඳුකරයේ පිහිටවූ පළමු ජාතික වනෝද්‍යානය ලෙස ඉතිහාසයට එකතු වෙනවා. ලංකාවේ අනිකුත් වනෝද්‍යාන තුල දක්නට නොලැබෙන පරිසර තත්ව, සත්ව සහ ශාක ප්‍රජාවක් මෙහිදී දකින්නට ලැබෙනවා.  

  
 පාර හොයා  ගන්නේ  කොහොමද?

(නුවරඑළිය නගර මධ්‍යයේ සිට උඩුපුස්‌සැල්ලාව මාර්ගයේ කිලෝ මීටරයක්‌ පමණ ගමන් කරද්දී ආර්ථික මධ්‍යස්‌ථානය අසල ගැල්වේස්‌ මාර්ගය සොයා ගන්න පුලුවන්.. ඒ මාර්ගය ඔස්‌සේ කිලෝ මීටරයක්‌ පමණ ගමන් කරද්දී  ඔබ ගැල්වේස්‌ ලෑන්ඩ් ජාතික උද්‍යානයේ පිවිසුම දකීවි..)







මේ තියෙන්නෙ ඔබ වෙනුවෙන් අපේ කැමරා කාචයේ සටහන් වූ දසුන්  පෙලක්. 
( photo credit goes to : මටයි අපේ මහත්තයටයි..)












 මිනිසුනේ, මේ වගේ අඩි පාරක ඔබේ දරුවන්ට තනියම යන්න දෙන්න. මේ සිසිලස විඳි දරුවෙක් අඩුගණනේ අනාගතයේ දිනෙක  ගසක් කපන්නට පෙර ඒ ගැන දෙවරක් සිතාවි.






  "අරණකට පෙම් බැඳ " නවකතාව මතක් උනා.




ලයිකන වලටත් ඔවුන්ගේම ලොවක්
 


වනස්පති





 මේ ටිකත් බලන්න. 





පහලින් පළ කරන ඡායාරූප ගැන යමක් කිව  යුතුයි. මම  මේ වගේ බෝඩ් ලෑලි දාන්න කැමති නැහැ.  නමුත් අපට මේ සතුන්ගේ  දසුන් ලබා ගැනීමට නොහැකි වුනා.  මේ උපුටනයෙන් ඔබට තේරේවි මෙහි වැදගත් කම. 

" ගැල්වේස්‌ලෑන්ඩ් වඩාත් සුවිශේෂී වන්නේ පක්‍ෂීන් නැරැඹීමට හැකි උද්‍යානයක්‌ ලෙසය. දැනට වාර්තා වී ඇති පක්‍ෂි විශේෂ සංඛ්‍යාව තිස්‌පහකි. ලංකාවටම ආවේණික වූ පක්‍ෂි විශේෂ හතක්‌ද සිටී. කඳුකරයට පමණක්‌ විශේෂ වූ පීතකන් කොණ්‌ඩයා... යුගල වශයෙන් මෙන්ම රංචු ලෙසද දැකිය හැකිය. පක්‍ෂීන් පිළිබඳ අධ්‍යයනය කරන්නන්ට ගැල්වේස්‌ලෑන්ඩ් උද්භිද උද්‍යානය කදිම තැනකි.

මෙහි සිටින විශාල ක්‍ෂීරපායි සංඛ්‍යාව අඩුය. එහෙත් කුඩා ක්‍ෂීරපායි විශේෂ රැසක්‌ සිටී. වල් ඌරා, වැලි මුවා, හඳුන් දිවියා, කළු වඳුරා, දඬු ලේනා සහ හාවුන් ඒ අතරය. උද්‍යානයේ දැකිය හැකි උරග විශේෂයන් සීමාවී ඇත්තේ දේශගුණික තත්ත්වයන් නිසාය. එහෙත් නයා, ලේ මැඩිල්ලා වැනි සර්පයන්ද කොපුල් කමැස්‌සා, අංකටුස්‌සා සහ කුරු බෝදිලිමා යන කටුසු විශේෂයන්ද සමනළ විශේෂ රැසක්‌ද මෙන්ම උභය ජීවීන් රැසක්‌ද දැක බලාගත හැකිය." 

 (http://www.divaina.com/2010/10/05/feature04.html) 





ශ්‍රී ලංකා උරුවන් තිරාසිකයා

මයිලගොයා

යුරාසියා කළු බිම්සැරියා

අළු හැල පෙන්දා



බොර කෙවුල් බකමූණා  

ශ්‍රී ලංකා බොරග දෙමලිච්චා

අළු කෑදැත්තා

දෑ දෙමලිච්චා

කහ කන් කොණ්ඩයා

ශ්‍රී ලංකා සිතාසියා





( මේවා සිස්සත්තෙටත් ඕනෙ වෙනවා.  යටින් නම සිංහලෙන් කෙටුවෙත් ගූග්ල් දෙයියන්ට මාට්ටු වෙන්ට. ළමයින්ට නැතත් අම්මලාට හරි වැදගත් වෙයි නෙව )



කෝ මේ ඉන්නවා කියපු කුරුල්ලෝ ඈ?  
(පළපුරුදු සංචාරකයෙක් කුරුල්ලන් නිරීක්ෂණය කරමින්)



මතු සම්බන්ධයි. තවත් ගමනක් ගැන ආයෙ ලියන්නම් හොඳේ ..