Saturday, November 29, 2014

පුංචි පවුලක පුංචි කතාවක්..


න්න එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක පුංචි දඟකාර පුතෙක් එයාගෙ අම්මයි තාත්තයි එක්ක ආදරෙන් ජීවත් වුණා. මේ පුංචි පුතා පෑන් පැන්සල් පාට කෑලි අතට ගනිද්දි එයාගෙ අම්මා එයාට කියල දීල තිබුණ 
" පුතේ, අපි මේ ඉන්න ගේ අපේ නෙවෙයි.අපිට ඉන්න තැනක් නැති නිසා අර ශාන්ත මාමලගෙන් ඉල්ලගෙන තියෙන්නෙ මාසයක් ගානෙ සල්ලි දෙන්න ඕනෙ. ඒ නිසා බිත්ති වලවත් බිමවත් ඉරි අඳින්න එපා පුතේ.." පුංචි පුතත් ඒක හිතට ගත්ත බවක් පේන්න තිබුනා. දවසක් බොහෝම හදිස්සියෙන් පුංචි පුතා උදැල්ලක් අරන් කුළී ගෙදර මිදුලෙ වළක් කපනව. උදළු මිටෙන් බගයක්වත් උස නැති , මොන්ටිසෝරි යන්නවත් වයස මදි කොලු පැංචා.. පට් පට් ගාල වැඩ.. අම්මා ඇහුවා, ඇයි පුතේ ඔය මිදුල මැද.. අම්මට වැඩ වැඩි කරනවනේ ඔයා.. මොකටද ඔය වළ? 

පුතා හෙන සීරියස්.. 
            "අම්මේ.. අපි තුන් දෙනාට ඉන්න මෙතන ගෙයක් හදන්නයි මම මෙ වළ කපන්නේ.. එතකොට මේ  ශාන්ත මාමලගෙ ගෙදර ඉන්න ඕනෙ නෑනෙ. "
අම්මගෙ ඇස් වල කඳුළු. අම්මටත් පුංචි කාලෙ ඔහොමම හිතුණා. ගෙවල්නම් ඒවා හදාගන්න මිනිස්සුන්ට අයිතියි තමයි. ඒත් මේ ඉරහඳ යට ඉපදුණු හැමෝටම ඉඩම් අයිති නැත්තෙ ඇයි..කෙනෙකුට අක්කර ගානක් තියෙද්දි තවත් කෙනෙකුට පර්චස් 10ක් වත් නැත්තෙ ඇයි? පුංචි පුතා තාම පොඩි වැඩියි ඕවා තේරුම් කතා කරන්න. 
ඔහොම ඉද්දි අම්ම දවසක් පුතු පැටියගෙන් ප්‍රශ්නයක් අහනවා. අම්මා පොඩි කාලෙ ඉදන්ම හැම දෙයක් ගැනම ඇත්ත විතරක් කියල පුරුදු නිසා අම්ම දෙයක් කිව්වොත් ඒක බොරුවක් වෙන්නෙ නැහැ කියලා පුතා දන්න්නව 
"මගෙ රන් කැටේ.. අම්මා ටිකක් දුර රස්සාවකට  යන්නයි හදන්නෙ. මං පුතාට කියලා දීලා තියනවනෙ කාන්තාර රටවල් ගැන. අන්න ඒ වගේ රටකට යන්නයි හදන්නෙ. පුතා තාත්ත එක්ක ඉන්නවද කියන දේ අහගෙන? 
"පුතාටත් එන්න බැරිද අම්මේ..?"
 "අම්ම යන ප්ලේන් එකේ ලණුවකින් තව ප්ලේන් එකක් ගැට ගහලා ඒකෙ පුතා නැගල එන්නද අම්මෙ..? "
"මං බෑග් එකක් ඇතුළෙ එන්නද..?"
ප්‍රශ්න ගොඩා.....ක්.

 එහෙම බැහැ පුතේ.. අම්ම නැතුවත් අඬන්නැතුව ඉන්නවද කියන්න  ? 
" හා"  
ලොකු විශ්වාසෙකින් තනි වචනෙ උත්තරයක්.. ලොකු පොරොන්දුවක්.  

අදටත් සුදු තාත්තයි රන්කැටි පුතයි ඒ පොරොන්දුව රැකගෙන ඉන්නවා. දැනටත් අම්ම නිවාඩුවකට ගිහින් එද්දි චූටි පුතාගෙන් අහන්නෙ "අඬන්නෙ නැතුව ඉන්නවනම් විතරක් එයාපෝර්ට් යන්න පුළුවන්. 
හා ද? " 
"පොඩ්ඩක් අඬන්නනම් ඕනෙ හැබැයි.."
"එහෙමනම් බැහැ. ගෙදරට වෙලා ඉන්න." 
"හා හා අඬන්නෙ නැහැ. එක්ක යන්න."

 කියපු විදියටම අම්ම ඇතුළට යද්දි චූටි පුතා අඬන්නෙ නැතුව ටටා කියල ඉන්නවා. ඒ නිසා අම්මටත් අඬන්නෙ නැතුව ඇතුළට යන්න පුළුවන් වෙනවා. 
" දුක හිතුන අම්මෙ. ඒත් ඔයා අඬන්න එපා කියපු හන්ද ඇඬුවෙ නෑ..."
පස්සෙ කෝල් එකකින් ඇහෙනවා.
 පහුගිය ගිම්හාන කාලෙ නිවාඩුවට අම්ම ආපු වෙලේ අම්මයි තාත්තයි පැටියයි එයාලගෙම ගෙදරක කිරි උතුරවලා බතක් උයනව. 



"අම්මෙ.. ගෙපල් කපන දවසෙ මමත් ගොඩක් මහන්සි වෙලා විසි කැති ගැහුවා.."
පුංචි පුතා සතුටින් එයාගෙ  සම්මාදම විස්තර කරනව..

නිවාඩු ඉවර වෙලා අම්ම වෙන් වුනාම රන් කැටියා ඒ සතුට ඒ විදියටම තියාගෙන තාත්තට කීකරුව ඉන්නවා. මොන්ටිසෝරි යනව. එයාට යන්න තාත්ත ලොකු ඉස්කෝලයක් හොයනව කියල යාළුවන්ට කියනව. 
එයාගෙ දඟ වැඩත් නිමක් නැහැ. ඒව  ඉතින් අම්මට බලන්න වෙන්නෙ කෙටි නිවාඩුවකට ගියාම තමයි. කුස්සියේ ටැප් එකෙන් වතුර අරන් ගිහින් මිදුල මඩ කරනවා. 
"අම්මේ මම පුද්ගලික මඩ වළක් හදන්නයි යන්නේ.. "
ටික වෙලාවකින් මඩ නාගෙන කුස්සියට එනවා. අම්මගෙ කේන්තිය නිමක් නැහැ රන් කැටේගෙ ඇඳුම් දැක්කම. 
" සුදු නෝනා.. මට වතුර ටිකක් දෙනවද බොන්න..?"
ඔය ඉතින් අම්මව හිනස්සවන්නනෙ. 
අම්ම අහක බලාගෙන කුස්සියෙ වැඩ. 
"මම කැමතියි නෝනට.. නෝන කැමති නෑ මට.."
 ඔන්න එතකොට නම් අම්මගෙ කේන්තිය හිනාවකට පෙරළෙනවා..

මේ සැරේ වාරාවසාන විවිධ ප්‍රසංගයෙ හුඟක් දේවල් වලට රන් කැටේ ලෑස්ති වෙනවා. 
" අම්මේ.. මම දන්ත කුමාරයට ඉන්නවා."
 "ෂා.. හොඳයිනෙ පුතේ.. කවුද හේමමාලි?" 
" ඔනෙලි" පුතා හිනා වෙලා  කියනව. 
"මට තියෙන්නෙ එයාට කුඩේ අල්ලන්නයි. මේ කැලැන්ඩරේ ඉවර වෙලා ඊළඟ කැලැන්ඩරේ  ( ඊළග මාසෙ කියන එක) තමයි කොන්සර්ට් එක. ඔයත් ආවොත් බලාගන්න පුළුවන්. අම්මේ.. මම නළපාන ජාතකයෙ රකුසටත් ඉන්නවා.. මේ බලන්න රකුස ගොරවන හැටි.. ග්ර්ර්ර්ර්ර්ර්...." 

අම්මටත් දුකයි පුතාගෙ කොන්සර්ට් එක බලන්න යන්න වෙන්නෙ නැති එක ගැන. 

අම්මට ඕනෙ රන් කැටි පුතා හොඳ මිනිහෙක් කරන්න. පඬුරු පාක්කුඩම් නොදී තමන්ගෙ හැකියාවෙන් හැදියාවෙන් ගුරුවරුන් සතුටු කරන දරුවෙක් වෙනවා බලන්න. ගහක කොළක සිසිල අඳුනන තවත් මිනිහෙක්ගෙ දුකක් වේදනාවක් තේරෙන මිනිහෙක් වෙනවා දකින්න. 

එතකොට අපි බල නොකළත් ඒ දරුව ඉගෙන ගනීවි. අකුරු වලින් ඔබ්බට ගිය ජීවිතය ඉගෙන ගනීවි.


අද ඒ රන් කැටියගෙ උපන් දිනේ..

අම්මා ඈත  රටක ඉඳන් ඔයාට සුභ පතනවා පුතේ.. අම්මගෙයි තාත්තගෙයි ජීවිත සතුටින් තියනවට ඔයාට ගොඩාක් ස්තුතියි.

මෙන්න ඔයාට පුංචි තෑග්ගක්.. ( from youtube.com)


" වැදූ මවත් ඔබ දිනූ බිමත් රැකගන්න ඔබේ ඇස් දෙක වාගේ
එපා නමන්නට අයුක්තියට හිස යුතුකම සුරකිමු පණ වාගේ.."

8 comments:

  1. හරිම ලස්සන රචනාවක්.......... ඒ වගේම ලස්සන ගීතයක්......................... ඔබගේ දර්ශනයට මුලින් ම ස්තූති කරන්න කැමතියි.. ගොඩක් මිනිස්සුන්ට නැත්තේ ඔ්ක...............

    ReplyDelete
  2. ගොඩාක් ස්තුතියි මේ පැත්තෙ ආවට කුරුටු. අගය කිරීම ගැන සතුටුයි.

    ReplyDelete
  3. ගහ කොළ වල සිසිල හඳුනන
    තවත් අදවතක දුක හඳුනන
    රත්තරන් පුතෙක් ...
    සුභ මිනිසෙක් ...
    වේවි රන් කැටේ කවදා හරි ..
    බුදු සරණයි ....

    ReplyDelete
  4. සුභ උපන්දිනයක්.. පහු වෙලා හරි.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි දේශක ..

      Delete
  5. ලස්සන කතාවක්

    ReplyDelete
  6. ආ තව ගෑල්ලමයෙක්ගේ බ්ලොග් එකක්

    ReplyDelete
    Replies
    1. ගෑල්ලමයා .. බුද්ධිගෙන් ආපු වචනෙයක් නෙ.. තැන්කූ මේ පැත්තෙ ආවට...නම වෙනස් කළා නැගල යන්න කියල... මම සප්‍රි . හෙවත් ඔටු පැටික්කි

      Delete

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!