Wednesday, June 24, 2015

ආගම්, ජාති, භාෂා සහ මිනිස්සු ....

*****************************
අංක 1.

ගිය අවුරුද්දේ අග රියෙදි රාජකාරි ගමනකට ඩුබායි යන්න ලැබුන. ලංකාවෙ අපි තුන් දෙනෙක්. විවිධ රට වලින් පැමිණි අය හිටියා. රැස්වීමෙ අතර මැද දිවා ආහාර විවේකයෙදි අපේ මේසෙට ඇවිත් වාඩි වුනේ  යුරෝපීය පුද්ගලයෙක් .  ඔහු ඉක්මනින්ම අපිත් එක්ක සුහද වෙලා අපේ රට මොකක්ද කියල ඇහුව. 

"අපි ලංකාවෙ" 

ඔහු : "ආ බෞද්ධ රටක්නෙ." ඔබ සමඟ කතා කිරීමත් සතුටක්.

 ඒත් එක්කම මාත් අමග ගිය මුස්ලිම් මිතුරා නැගී සිටියා. 

" නැහැ. ලංකාවෙත් හැමෝම බෞද්ධ නෙවෙයි. මම ඉස්ලාම්. මේ මහත්තයා කතෝලික. මෙයා විතරයි අපි 3 දෙනාගෙන් බෞද්ධ ."  ඔහුගෙන් පැහැදිලි කිරීමක්. 


මම : එතකොට ඔබේ ආගම මොකක්ද මහත්මයා. 


ඔහු : මම බෞද්ධ. තවමත් මම පොත පතින් ඒ ගැන හදාරනව.  



*****************************

අංක 2.

ඕමනයෙදි   මගේ ඉන්දියානු මිතුරියක් එක්ක කතා කරමිනුයි සිටියෙ. .  .  ඒ අතරෙ මගෙ ජංගමයට ඇමතුමක්. ඒකට ඉංග්‍රීසි බසින් උත්තර දීල මම අයෙ මිතුරිය එක්ක කතාව පටන් ත්තා. මෙහෙ ඉන්න ලංකාවෙ කෙනෙක් කතා කලේ. හවසට එහෙ එන්නලු.  මගේ ඇමතුම ගැන ඇයට කීම අනිවාර්‍ය නොවුනත් මම නිකමට එහෙම කිව්වා.

ඇය : අහ් ඔයා එහෙනම් ඇයි සිංහලෙන් කතා නොකළේ. ?

මම : එයාල ලංකාවෙ උනාට ටැමිල් .

 ඇය :  ඒත් මම හිතුවෙ ලංකාවෙ ඉන්න හැමෝම සිංහල දන්නව කියලයි . අපේ ඉන්දියාවෙ ප්‍රාන්ත ගනනට වෙනස් භාෂා මහ හුඟක් තියෙනවා. ඒත් හැමෝම සාමාන්‍යයෙන් හින්දි දන්නව. 

 ??


*****************************

අංක 3.

විදෙස් රටක පිහිටි ජාත්‍යන්තර පාසැලක්. ආසියානු අප්‍රිකානු රටවල දරුවන් පිරුණු පංති ආමරයක්. හැබැයි සිසුන්ගෙන් අඩක් පමණ ලාංකික ( අර සිංහල බෞද්ධ කියන්නෙ ). එදා මා ඒ පාසලේ උගැන්වූ අන්තිම දවස. පාඩම අවසන් වූ පසු මා ඒ  බවත් දරුවන්ට කිව්ව. මම පංතියෙන් එලියට අවිත් කොරිඩෝව දිගේ යනකොට මම හිටපු පංතියෙන් එලියට ආවෙ එක ගැහැනු දරුවෙක්. ඈ පසු පසින් ඇවිත් මගේ දෙපතුල මුල වැඳ වැටුනා . මගෙ උගුර හිර වුනා . මේ වගේ පාසැලක ගුරුවරියකට මේ අත්දැකීම් සුලභ නැහැ. 

ඒත් මම කොහොමද පුතේ බුදු සරණයි කියන්නෙ? 

ඇය බංග්ලාදේශයෙ මුස්ලිම් ජාතික දැරියක්. 

පංති කාමරය තුල සිටි සිංහලේ සිංහ ලේ ඇති දරුවන් මේ සිද්ධිය දැක්කෙ නැහැ වෙන්න ඇති . 



*****************************

අංක 4

මේ දවස් වල ඕමානයේ උපවාස සමය ආරම්භ  වෙලා. පාරක තොටක ප්‍රසිද්ධියෙ කෑමක් කෑවොත් විතරක් නෙවෙයි, වතුර ටිකක් බිව්වත් පොලිස් අත්අඩංගුවට පත් වෙන්න පුලුවනි. ඉතින් අපි හරි පරිස්සම්. මේ අතරෙ මම පකිස්තනු ජාතිකයෙකුගෙ නිවසට ගියේ මහ දහවලේ.  හරිම පිපාසයෙන් හිටියත් උඩින් කියපු හේතුව නිසා වතුර ටිකක් ල්ලන්න මගෙ දිව නැමුනෙ නැහැ.  ඒත් වැඩි වෙලා යන්න කලින් ඔහු මගෙන් ඇහුව වතුර එකක් ගේන්නද කියල. 

මම ඇහුව ඔයා ෆාස්ටින්ග් නේද? ඒ නිසා ඕනෙ නැහැ  කියල. 

මම ෆාස්ටින්. ඒත් ඔයා වතුර බිව්වට මට ප්‍රශ්නයක් නැහැ .

වතුර දීල ටික වෙලාවකින් ඔහු ආවෙ බිස්කට් සමඟ කිරි තේ  බන්දේසියක් එක්ක. 




                                                  *****************************

ඉහත  සිද්ධි කියවද්දි ඔයලගෙ හිතට ආපු දේවල් අහළින් කමෙන්ට් කරන්න. මමනම් මුකුත් කියන්න යන්නෙ නැහැ. මේකෙ ඔළුව බේරගෙන ඉන්ටත් එපැයි. 

ප. ලි. : "මේක සිංහල බෞද්ධ රටක් හරිය ?"  ඔව්. අපි ජාති වාදී තමයි. ඇයි මොකද ?  




Saturday, June 6, 2015

MINI කවි






Sunday, May 10, 2015

දසමාසේ උරේකත්වා ...



අද අම්මාවරුන්ගෙ දිනය .. 

ලංකාවෙ අපටනම් මව්වරුන් පියවරුන් වෙනුවෙන් දින වෙන් කරන්න අවශ්‍ය  නැහැ. ඒත් මට හිතුනා අද දවස හොඳයි කියලා අම්මා ගැන කියවෙන අපේ ජනකවි ටිකක් මතක් කරන්න.  

මේ සම්බන්ධ ගීත ගොඩක් සින්දු ඇනෝ දීල තියෙනවා



මේ මට මතක් වුනු ජන කවි කිහිපයක්


අප්පච්චීගේ දොරකඩ කිතුල වගේ
අපෙ අක්කා  කිතුලේ මල වාගේ
අපේ අම්මා  කිතුලේ පැණි වාගේ
පර අම්මා  කිතුලේ කොළ වාගේ

මල්ලියෙ  ඔහොම  නොකරන්  අපෙ    අම්මාට
දෙතනේ  කිරි  දුන්නෙත්  අපි             දෙන්නාට
තියෙන   දෙයක්  දෙන්නෙත් අපි       දෙන්නාට
බුදුන්    වඳින   ලෙස   වැදපන්               අම්මාට


දුර    එනකොට   දුනුකෙයියා   මලක්   වගෙයි 
ළඟ    එනකොට   වැටකෙයියා  මලක් වගෙයි 
ගෙට එනකොට ගෙයි ඇවිලෙන පහන වගෙයි
මගෙ   අම්මා     මට   මානෙල්   මලක් වගෙයි


ඉර   පායා   ඉර  මුදුනට   එන්න    එපා
සඳ    පායා   සඳ   මුදුනට  එන්න   එපා
පෑදි  දියට බොර  දිය එක් වෙන්න එපා
අම්මා නැති අපට බඩගිනි වෙන්න එපා

වැල්ලේ පිපෙන    බිම් මල වාසනාවන් 
ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන් 
පෝය    දාට පුන්   සඳ        වාසනාවන් 
ජාතිත් මගේ     මවු පියො   වාසනාවන් 


එකට  විතර  මම  ගෙදරින්  පිටත්      වුණා 
දෙකට   විතර   අම්බලමක  වාඩි        වුණා 
තුනට       විතර      පේරාදෙණිය  පහු කළා 
හතරට විතර   මගේ මවුපියො මතක් වුණා 



අවසානයට මම කැමතිම මවු ගුණ ගීයක් මතක් කරන්නම්

සක්වළ එතෙරට ඇසෙනා 

සක්වළ එතෙරට ඇසෙනා අනන්ත ඈතට දැනෙනා
මුළු මිහිතලයම කම්පා කරවන එකම හඬයි අම්මා
මෙතේ බුදුන් දැක නිවන් දකීවා ගෙදර බුදුන් අම්මා

කල්පකාල දිග ගමන් තලාවේ ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ
කර පිට හිඳුවා මෙගොඩට පීනා සමුදුර තරණය කරලා
මවකගෙ මුවහින් විවරණ ලැබුවා බුදු හිමි බුදුබව පතලා

සුරංඟනාවන් පැල් බැඳ අහසේ දෝත් බුදුන් දී වැඳ වැටෙනා සඳ
රතු ලේ කිරි කල පින් මහිමයටයි අම්මාවරු දුක් ගන්නේ
කිරි සුවදට පරිභව කළ පුතු නිරයේමයි උපදින්නේ


පද රචනය - උපාලි ධනවලවිතාන
සංගීතය - සරත් දසනායක
ගායනය - නන්දා මාලිනිය 




බුදු හාමුදුරුවො දේශනා කරල තියෙනවා දරුවෙක් තමන්ගෙ අම්මයි තාත්තයි දෙවුරෙ තියාගෙන මුලු ජීවිත කාලයම කැතකුණු අදිමින් සියලු සත්කාර කළත් දෙමව්පියන්ට තියෙන ණය ගෙවල ඉවර කරන්න බැහැ කියල. එහෙම බැලුවම අපි කරන සැලකිලි කොයි තරම් සුළු දේවල්ද ?


මේ තියෙන්න මහා කවි මහගම සේකර  අම්මව දුටු හැටි

ඔබා දෙදණ නිල් උඳුපියලි බිම මත
වැන්දේ ඔහු බැති සිතින්
අම්මා වැළලූ තැන මහ පොළොවට;
පිපිලා තිබුණු එතැන සුදු පාටට
නමක් නොමැති පුංචි මලක්
සිම්බේ ඔහු එමල නමා හිස.
''
දස මසක් කුස තුළෙහි දරා සිට
මා ලොවට වැදූ අම්මා ඔබ .
කෙළවරක් නොමැති දුක් දරා විඳ
මා ලොවට හැදූ අම්මා ඔබ :

අඩන විට මා කුඩා අවදියෙහි බඩගිනි
තම්බා බතල දළු
ලුණු දියර ඉස
පොල් ගා මුසුකොට කවා
බඩගිනි නිවූ අම්මා ඔබ .

උයා උදයෙන් නැගිට කඩයප්පන්
තබා තේ කඩයෙහි
ලබා ඉන් ලැබෙන සුළු වට්ටම
ජංගි ඇන්දූ අම්මා ඔබ .

ගල්වා ඉසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුදය
අල්ලා ගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා ඔබ .

ඇවිද ලඳු දෙණි කැලෑ බිම්වල
රැගෙන විත් තුන් හිරිය පන් කොළ
යොදා කුකුල් සායම් රතු හා කොළ
වියා නෙක් විසිතුරු රටා පැදුරු
රටාවක් බව මේ මහා විශ්වය
කුඩා කල සිට මට
කියා දුන් අම්මා ඔබ .

නො දත්තෙමි මම එකල
අම්මේ, ඔබ වත කැටපතක් බව;
මෙකල මා සිත පිළිබිඹු කරන
ගිලී යට ගිය ඇස් කුහර තුළ
නො දුටුවෙමි කිසි විටක සතුටක්
නො දුටුවෙමි කිසි විටක දුකකුත්.
ඉවසා සම සිතින් සැම සැප දුක්
ලැබුවා ඔබ සිතෙහි සාමයක්?

ඉපයුවෙමි මම මුදල්
ඉපයුවෙමි කිතු යසස්
වී මන්දිර යාන වාහන.
එහෙත් කිසිවකිනුත්
නො ලදිමි සිත් සැනසුමක්.
වටහා ගෙන සිටියා ඔබ  සත්‍ය 
නො ලබා ඔබ කිසිවක්?''



අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරන්නේ අම්මාවරුන්ගේ ගුණයට සංවේදී සියලුම දරුවන් සංවේදී වේවා යන්නයි. එවිට අම්මාවරුන්ගේ දින ඇවැසි නොවනු ඇති

මගේ අම්මාට බුදු සරණයි.