Showing posts with label ආගිය තතු. Show all posts
Showing posts with label ආගිය තතු. Show all posts

Tuesday, June 6, 2017

සාලාව පිපිරුම සහ නඳුන්ගමුවේ සඳුන් ගස් .....




දිඩි දිඩි ගා බිත්ති දෙදරවමින් ඇසෙන වෙඩි හඬ කුමක්දැයි බැලීමට මා මිදුලට බැස්සෙමි. කොස්ගම ප්‍රදේශවාසීන් වූ අපට මින් පෙර රතිඤ්ඤා හඬකට වැඩි හඬක් අසන්නට ලැබී තිබුනේ නැත. සාලාව කඳවුරේ අවි ගබඩාවක් තිබෙන බවද අප කොහෙන්දෝ අසා තිබුණි. හඬ එන්නේ කඳවුරෙන් බව අම්මා පැවසුවාය. මට කදවුර තිබෙන දෙස අහස දෙස බැලුනේ ඉබේමය. එදෙසින් කුඩා කළු දුමාරයක් අහසේ කළු වලාකුළු අතරට එක් වෙමින් පැවතින.

හමුදා සේවයෙන් විශ්‍රා ගිය අසල්වැසි සොයුරියක් පැවසුයේ කදවුරේ තිබෙන අවි ආයුධ  ප්‍රමාණය අනුව මෙය විශාල අනතුරකට පෙරලීමට ඉඩ ඇති බවයි.

මෝටර් බයික් වල නැඟි ගමේ තරුණයන් වහාම ඉවත් වන ලෙසට කෑ ගසා පවසමින් අතුරු පාර වල මිනිසුන් දැනුවත් කරමින් මේ අත ගියේ හමුදා පණිවුඩ රථ ගියේ බස් පාරේ පමණක් බැවිනි. රතිඤ්ඤා හඬ මෙන් ඇසුනු පිපිරුම ක්‍රමයෙන් වැඩි වැඩිවිය. දැන් දැන් ඇසෙන හඬ දරා ගැනීමට අපහසුය. අපද අසල් වැසියන් සමඟ මහ පාරට පා නැඟුවේ කුමක් වන්නේද කුමක් කරන්නදැයි තේරුම් ගැනීමටය.

පූගොඩ කොස්ගම මාර්ගය එකම ජන ගඟක් වී තිබිණ. බයික්, ත්‍රිවීලර් මෙකී නොකී වාහනද අතරින් ඉඩ සොයමින් පයින්ම දුවන මිනිසුන්ද පාරේ පළලට ඔරොත්තු නොදෙන තරම් විය.
අපද මාද පවුලේ අයද ඇදිවත සහ මොබයිලය පමණක් අතැතිව වැලි ට්‍රක් රථයකට ගොඩ වුණෙමි.

රථය ඉදිරියට ඇදුනේ බොහෝ සෙමිනි. අතොරක් නැතිබ ඇසෙන වෙඩි හඬ අතර කුඩා දරුවන් බදාගෙන හඬන මවුවරුන්ගේ සෝ සුසුම්ද එක් විය. තිරෝද රථ වල සිටි සමහරුන් වයෝවෘධ මා පියන් වූ අතර සේලයින් බට ආදියද සමඟම ඔවුන් රැගෙන විත් තිබිණි. අප හුන් වාහනයටද තව බොහෝ දෙනා ගොඩ වූ අතර පූසන් බල්ලන් ඔසවාගෙන පයින්ම දුවන අයද හිඟ නොවීය.


සවස 5 පමණ ඇරඹි පිපිරුම කෙමෙන් වැඩි වුවත් රථ පෙරහැර මැද පයින් යනවාටත් වඩා හෙමින් යන වාහන පෙළ පූගොඩ පාලම උඩට ලඟා වන විට මඳ අඳුරක් පැවතිණි. එනිසාවෙන් අහස රත් පැහැ ගන්නවමින් වරින් වර නගින ගිනි දලු සැබැවින්ම මරණ බියක් දැනවීය.


මෙසේ පාලම උඩ වාහනද පයින් යන මිනිසුන්ද තෙරපී සිටි මොහොතේ නැඟුනු අති භයානක එක ශබ්දයක් හේතුවෙන් සියල්ලෝම විලාප තියන්නට පටන් ගත්හ. පාලම කඩා නොවැටුණේ කාගේ හෝ පිනකට විය යුතුය.


මේ සියල්ල සිදු වෙද්දී සියල්ලන්ට කලින් ක්‍රියාත්මක වූ තරුණ කැල පාර වන් වේ කර පාලනය නොකළානම් මේ කතාව මෙසේ නොවන්නට ඉඩ තිබුණි. කොතෙක් දුර ගමන් කළද පාර දිගේම ජනයාද මේ සෙනඟටම එක් වී දුවනවා මිස අනතුර පහව යන මානයක් පෙනෙන්නට නැත. තවත් දුර අතුරු පාරක් දිග ධාවනය වූ රථය පිට්ටනියකට විත් නතර විය.


අප සිටියේ වැලිවේරිය  නඳුන්ගමුව නම් ගම්මානයේය. වන විටත් එක සීරුවට ඇසෙන වෙඩි හඩ අසමින් රත් පැහැ අහසේ ගිනි දලු දකිමින් අප කට්ට කලුවරේ පිට්ටනියක් මැද තෙමෙමින් සිටියෙමු. නිවෙස් මානය සිතින් මවා ගැනීමට උත්සාහ ගන්න විට සිතට ආවේ නටඹුන් ගොඩක් පමණකි.


එක වරම විදුලි පන්දම් දල්වමින් පිට්ටනියට කඩා වැදුනු ගම් වැසියන් කිහිප දෙනෙකි.

 "ඕගොල්ලො සලාවෙ ඉඳලද ආවෙ?"

"යමු යමු. මේ පොඩි ළමයිනුයි වයසක අයයි එක්ක මෙතන මොකද කරන්නෙ. එන්න කට්ටියම මා පස්සෙන් එන්න. "

උස මහත තරුණයෙකි. ඔහු ඉස්සර විය. වන විට ඔවුන් මාද් ඔස්සේ ඇති තතු දැන සිටියහ. අප විසි දෙනෙකු පමණ පිරිසක් කුඩා ළමුන් මෙන් ඔහුට කීකරුව පසුපසින් ඇදුණෙමු.


කුඩා අතු පැලක දයාව උතුරා ගලා යන පොහොසත් සිත් හුඟක් විය. කහට තේද ක්‍රීම් ක්‍රැකර්ද අතට ලැබෙන්නට වැඩි වෙලවක් ගියේ නැත. අමුත්තන්ට නිවස ඇතුළේ ඉඩක් තිබුණේම නැත. අහළ පහළින් එකතු කරගත් ප්ලාස්ටික් පුටු මිදුලේ වටයක් සැදිණි.


තේ බී ඔවුන්ට නොවක් ස්තුති කළ අප නැවත් පාරට පැමිණියේ ඔවුන් අප නිසා පමණට වඩා කරදර වීම සිතට බරක් වූ බැවිනි. එහෙත් නැවත් දැඩි වූ වර්ෂාව මැද කොහේ යන්නදැයි නොදත්තෙමු. වැසි මැද තවත් ගෙපිලකට ගොඩ වැදුනෙමු. එහි මවක් දරුවෙකුට කවමින් සිටි අතර ඇය අපට ඉඳගන්නට පුටු දුන්නාය. මොහොතකින් අයස්සේම වැනි වූ මගේ පුතුටද කෑම පිඟානක් ලැබිනි. නම් නොදන්නා ඔවුන්ට පින්....


අතර පැමිණි පෙර කී කණඩායම අපව නඳුන්ගමුව ප්‍රජා ශාලාවට කැඳවාගෙන ගියහ. අපට වාඩිවන්නටයැයි කී ඔවුහු කෙටි බිත්ති දිගේ ඉටි පන්දම් පත්තු කරන්නට පටන් ගත්හ. දැන් රෑ අටත් පසු වී ඇති නිසා අපට රෑ ගත කිරීමට මෙතන සුදුසු බව ඔවුන් කියයි. වෙන විකල්පයක්ද නොමැත. අපට මෙවන් තැනක් හෝ ලැබුණත් අනෙකුත් ගම් වැසියක් කුමන අතකද කියාවත් නොදනිමු.


අප ප්‍රජා ශාලාවේ ඉන්නා බව කවුරුන්ගෙන් හෝ ඇයට දැනගන්නට ලැබී තිබුණි. පසුව දැනගත් පරිදි වාසනා අක්කාය. විදුලි පන්දමක් අතැතිව දුවගෙන ඇය අපව ඇගේ නිවෙසට කැන්දාගෙන ගියාය. තව අය ඉන්නවානම් කෝල් කර ගෙන්න ගන්නා ලෙස පැවසුවාය. කඩි මුඩියේ එහි විසි තිස් දෙනෙකුට නවාතෙන් සැකසිනි. අහල පහල අය කැඳවා ගත් වාසනා අක්කා උයන්න පටන් ගත්තාය. කවුදෝ දෙල් ගෙඩි ටිකක් උස්සන් ආවාය. කෑම ඉදෙන තුරු අපට TV බලන්නට කී ඔවුන් කඩි මුඩියේ වැඩ කළහ. අපට කෑම වේල ලැබුණේ අනාථයන් ලෙස නොවේ. ඇය ලස්සනය කෑම මේසයක් පිළියෙල කළාය. අපි අමුත්තන් මෙනි. අපේම අසල්වැසියන් පන්සල් වල සිය ගණනින් රොක් වී හඬමින් සිටින අයුරුද නැරඹුවෙමු.


සාලය මැද පැදුරු එලීමෙන් නොනැවතී පොඩි දරුවන් සිටින බැවින් කාමර වල ඇඳන් සූදානම් කිරීමටද ඇය පසුබට නොවූවාය. නමුත් කාටත් නින්දට සිතක් නොවීය.


මේ සියලු සත්කාර විඳ අලුයම වෙත්ම අප නැවත් නිවෙස් බලා පැමිණියෙමු. " අද ඕගොල්ලො මේ පැත්තට ආව. හෙට අපිට කරදරයක් වෙලා පැත්තට එන්න වෙයිද දන්නෙ නෑ." ඇයගේ වදන් මසිතින් මැකී නොයේ.


මේ සියල්ල සිදු වී අදට වසරකි. අපගේ නිවෙස් වලට කිසිදු හානියක් වී නොතිබිණි. පිළිස්සී කලු ගැහී තිබූ සාලාව කඳවුරේ මහ ගස්ද නව දලු කොළ වලින් හැඩ වී ඇත. අවට ජන ජීවිතද පිබිදී ඇත. බොහෝ දෙනාට මේ සියල්ල අමතකව ගොස් ඇත

එහෙත් .... මනුසත් බව ලැබූ දෙවිවරු වන් නඳුන්ගමුවේ සදුන් ගස් වැනි මිනිසුන් මට කිසිදා අමතක නොවේ.

Wednesday, June 24, 2015

ආගම්, ජාති, භාෂා සහ මිනිස්සු ....

*****************************
අංක 1.

ගිය අවුරුද්දේ අග රියෙදි රාජකාරි ගමනකට ඩුබායි යන්න ලැබුන. ලංකාවෙ අපි තුන් දෙනෙක්. විවිධ රට වලින් පැමිණි අය හිටියා. රැස්වීමෙ අතර මැද දිවා ආහාර විවේකයෙදි අපේ මේසෙට ඇවිත් වාඩි වුනේ  යුරෝපීය පුද්ගලයෙක් .  ඔහු ඉක්මනින්ම අපිත් එක්ක සුහද වෙලා අපේ රට මොකක්ද කියල ඇහුව. 

"අපි ලංකාවෙ" 

ඔහු : "ආ බෞද්ධ රටක්නෙ." ඔබ සමඟ කතා කිරීමත් සතුටක්.

 ඒත් එක්කම මාත් අමග ගිය මුස්ලිම් මිතුරා නැගී සිටියා. 

" නැහැ. ලංකාවෙත් හැමෝම බෞද්ධ නෙවෙයි. මම ඉස්ලාම්. මේ මහත්තයා කතෝලික. මෙයා විතරයි අපි 3 දෙනාගෙන් බෞද්ධ ."  ඔහුගෙන් පැහැදිලි කිරීමක්. 


මම : එතකොට ඔබේ ආගම මොකක්ද මහත්මයා. 


ඔහු : මම බෞද්ධ. තවමත් මම පොත පතින් ඒ ගැන හදාරනව.  



*****************************

අංක 2.

ඕමනයෙදි   මගේ ඉන්දියානු මිතුරියක් එක්ක කතා කරමිනුයි සිටියෙ. .  .  ඒ අතරෙ මගෙ ජංගමයට ඇමතුමක්. ඒකට ඉංග්‍රීසි බසින් උත්තර දීල මම අයෙ මිතුරිය එක්ක කතාව පටන් ත්තා. මෙහෙ ඉන්න ලංකාවෙ කෙනෙක් කතා කලේ. හවසට එහෙ එන්නලු.  මගේ ඇමතුම ගැන ඇයට කීම අනිවාර්‍ය නොවුනත් මම නිකමට එහෙම කිව්වා.

ඇය : අහ් ඔයා එහෙනම් ඇයි සිංහලෙන් කතා නොකළේ. ?

මම : එයාල ලංකාවෙ උනාට ටැමිල් .

 ඇය :  ඒත් මම හිතුවෙ ලංකාවෙ ඉන්න හැමෝම සිංහල දන්නව කියලයි . අපේ ඉන්දියාවෙ ප්‍රාන්ත ගනනට වෙනස් භාෂා මහ හුඟක් තියෙනවා. ඒත් හැමෝම සාමාන්‍යයෙන් හින්දි දන්නව. 

 ??


*****************************

අංක 3.

විදෙස් රටක පිහිටි ජාත්‍යන්තර පාසැලක්. ආසියානු අප්‍රිකානු රටවල දරුවන් පිරුණු පංති ආමරයක්. හැබැයි සිසුන්ගෙන් අඩක් පමණ ලාංකික ( අර සිංහල බෞද්ධ කියන්නෙ ). එදා මා ඒ පාසලේ උගැන්වූ අන්තිම දවස. පාඩම අවසන් වූ පසු මා ඒ  බවත් දරුවන්ට කිව්ව. මම පංතියෙන් එලියට අවිත් කොරිඩෝව දිගේ යනකොට මම හිටපු පංතියෙන් එලියට ආවෙ එක ගැහැනු දරුවෙක්. ඈ පසු පසින් ඇවිත් මගේ දෙපතුල මුල වැඳ වැටුනා . මගෙ උගුර හිර වුනා . මේ වගේ පාසැලක ගුරුවරියකට මේ අත්දැකීම් සුලභ නැහැ. 

ඒත් මම කොහොමද පුතේ බුදු සරණයි කියන්නෙ? 

ඇය බංග්ලාදේශයෙ මුස්ලිම් ජාතික දැරියක්. 

පංති කාමරය තුල සිටි සිංහලේ සිංහ ලේ ඇති දරුවන් මේ සිද්ධිය දැක්කෙ නැහැ වෙන්න ඇති . 



*****************************

අංක 4

මේ දවස් වල ඕමානයේ උපවාස සමය ආරම්භ  වෙලා. පාරක තොටක ප්‍රසිද්ධියෙ කෑමක් කෑවොත් විතරක් නෙවෙයි, වතුර ටිකක් බිව්වත් පොලිස් අත්අඩංගුවට පත් වෙන්න පුලුවනි. ඉතින් අපි හරි පරිස්සම්. මේ අතරෙ මම පකිස්තනු ජාතිකයෙකුගෙ නිවසට ගියේ මහ දහවලේ.  හරිම පිපාසයෙන් හිටියත් උඩින් කියපු හේතුව නිසා වතුර ටිකක් ල්ලන්න මගෙ දිව නැමුනෙ නැහැ.  ඒත් වැඩි වෙලා යන්න කලින් ඔහු මගෙන් ඇහුව වතුර එකක් ගේන්නද කියල. 

මම ඇහුව ඔයා ෆාස්ටින්ග් නේද? ඒ නිසා ඕනෙ නැහැ  කියල. 

මම ෆාස්ටින්. ඒත් ඔයා වතුර බිව්වට මට ප්‍රශ්නයක් නැහැ .

වතුර දීල ටික වෙලාවකින් ඔහු ආවෙ බිස්කට් සමඟ කිරි තේ  බන්දේසියක් එක්ක. 




                                                  *****************************

ඉහත  සිද්ධි කියවද්දි ඔයලගෙ හිතට ආපු දේවල් අහළින් කමෙන්ට් කරන්න. මමනම් මුකුත් කියන්න යන්නෙ නැහැ. මේකෙ ඔළුව බේරගෙන ඉන්ටත් එපැයි. 

ප. ලි. : "මේක සිංහල බෞද්ධ රටක් හරිය ?"  ඔව්. අපි ජාති වාදී තමයි. ඇයි මොකද ?  




Saturday, April 18, 2015

කුරම් උද්‍යානය..

ටයිල් කොලාජ් රෝස මලක් 

ඔව් ඔව් මෙහෙත් තියෙනවා ..


මේ කුරම් කාක්කෙක් ..


රාජ්‍ය ලාංඡනය සහිත නගර සභා ලාංඡනය



පහන් කණු රාත්‍රියට සැරසෙයි ..


ඉර සමු ගන්න ලඟයි 

Saturday, January 31, 2015

මස්කට් - මුහුදු වෙරළක දසුන් පෙළක්

නිවාඩු දවසක ගිය සුන්දර ගමනක් ..

 ලංකාවෙ වෙරළක දකින්නට නොලැබෙන විදියේ සතුන් සහ දර්ශන මෙහිදී දක්නට ලැබෙනවා. මේ තමයි මස්කට් . මැද පෙරදිය පිහිටි පිරිසිදු කමින් ඉහළ නගරයක්. ඉතා සංවිධානාත්මකයි. නිවාඩු දවසකදි දෙස් විදෙස් සංචාරකයින් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ දැකගන්න පුලුවන්.


මේ තියෙන්නෙ  මත්‍රා වරාය. අතීතයේ පෙර අපර දෙදිග මුහුදු ගමන් වල අරාබි මුහුදෙ සන්ධිස්ථානයක්. ඕමානයේ තෙල් සම්පත හොයා ගන්න කලින් මේක තමයි ප්‍රධාන ආදායම් මාර්ගය. තවමත් කලාපයේ ප්‍රධානම වාණිජ වරායක්. අතීත තොරතුරු වැඩිමනක් දන්නේ නැහැ. එක් කලෙක මෙය පෘතුගීසින්ට යටත්ව තිබූ බවක් අසා තිබෙනවා.



ඕමානයේ සාම්ප්‍රදායික කර්මාන්තයක් වන ලී යාත්‍රා මෙහෙදී දැකගන්න පුලුවනි.




ඕමානයේ සාම්ප්‍රදායික සංකේතයක් වන සුවඳ දුම් බඳුනක (incense burner)  විශාල ආකෘතියක් මේ. ඈත සිටම මුහුදු යාත්‍රා වලට මෙය දැක ගත හැකියි.



වට පිටාවෙ තියෙන  හැම ගලක් උඩම මේ වගෙ බලකොටු තියෙනව . ඔත්තු බලන්න පාවිච්චි කළා  වෙන්න පුලුවන්. 


මෙන්න බල කොටුව ඇතුලෙ තිබුන දේ.



මත්‍රා  මුහුදු වෙරළ (MUTRAH CORNICHE) 



මේ අරුම පුදුම සත්වයා මා කම්පනයට පත් කළා. සතෙක් වුණත් උන් තැනින් සෙලවීමටවත් නොහැකියි. මේ කවචය ගලට ඇලිලයි තියෙන්නෙ. මේ කටුව ඇතුළෙ ඉන්නෙ හංගොල්ලෙක් වගේ සතෙක්. පේනව නේද?
  බානකල් (Barnacles)






                                  ඉකිරියා
මේ ඉන්නෙ ඉකිරියා. මෙයාගෙ කටු ගොඩ දැක්කම කවුරුවත් මෙයා ළඟට එන්නෙ නැහැ. ඉතින් ඔහේ ගලකට ඇලිලා ගලේ තියෙන දෙයක් කාලා ඉන්නව. කොරල් පර හදන්න මුල් වෙන කොරල් බුහුබාවනුත් මෙයාගෙ ආහාරයක්. ඒ නිසා මෙයාල වැඩි වුනොත් ඒක තර්ජනයක්. මේ කටු ඇනුනොත් ඒකත් විශ සහිතයි. 




මුහුදු ඛාදනය වළක්වන්න ගත්ත සාර්ථක උත්සාහයක්


බයිසිකල් පදින්නත් දෙනව .. " Take a breath" : Ride for free on mutrah corniche"



ඔන්න ඔහොමයි දවසක් ගත වුනේ ...