Tuesday, June 6, 2017

සාලාව පිපිරුම සහ නඳුන්ගමුවේ සඳුන් ගස් .....




දිඩි දිඩි ගා බිත්ති දෙදරවමින් ඇසෙන වෙඩි හඬ කුමක්දැයි බැලීමට මා මිදුලට බැස්සෙමි. කොස්ගම ප්‍රදේශවාසීන් වූ අපට මින් පෙර රතිඤ්ඤා හඬකට වැඩි හඬක් අසන්නට ලැබී තිබුනේ නැත. සාලාව කඳවුරේ අවි ගබඩාවක් තිබෙන බවද අප කොහෙන්දෝ අසා තිබුණි. හඬ එන්නේ කඳවුරෙන් බව අම්මා පැවසුවාය. මට කදවුර තිබෙන දෙස අහස දෙස බැලුනේ ඉබේමය. එදෙසින් කුඩා කළු දුමාරයක් අහසේ කළු වලාකුළු අතරට එක් වෙමින් පැවතින.

හමුදා සේවයෙන් විශ්‍රා ගිය අසල්වැසි සොයුරියක් පැවසුයේ කදවුරේ තිබෙන අවි ආයුධ  ප්‍රමාණය අනුව මෙය විශාල අනතුරකට පෙරලීමට ඉඩ ඇති බවයි.

මෝටර් බයික් වල නැඟි ගමේ තරුණයන් වහාම ඉවත් වන ලෙසට කෑ ගසා පවසමින් අතුරු පාර වල මිනිසුන් දැනුවත් කරමින් මේ අත ගියේ හමුදා පණිවුඩ රථ ගියේ බස් පාරේ පමණක් බැවිනි. රතිඤ්ඤා හඬ මෙන් ඇසුනු පිපිරුම ක්‍රමයෙන් වැඩි වැඩිවිය. දැන් දැන් ඇසෙන හඬ දරා ගැනීමට අපහසුය. අපද අසල් වැසියන් සමඟ මහ පාරට පා නැඟුවේ කුමක් වන්නේද කුමක් කරන්නදැයි තේරුම් ගැනීමටය.

පූගොඩ කොස්ගම මාර්ගය එකම ජන ගඟක් වී තිබිණ. බයික්, ත්‍රිවීලර් මෙකී නොකී වාහනද අතරින් ඉඩ සොයමින් පයින්ම දුවන මිනිසුන්ද පාරේ පළලට ඔරොත්තු නොදෙන තරම් විය.
අපද මාද පවුලේ අයද ඇදිවත සහ මොබයිලය පමණක් අතැතිව වැලි ට්‍රක් රථයකට ගොඩ වුණෙමි.

රථය ඉදිරියට ඇදුනේ බොහෝ සෙමිනි. අතොරක් නැතිබ ඇසෙන වෙඩි හඬ අතර කුඩා දරුවන් බදාගෙන හඬන මවුවරුන්ගේ සෝ සුසුම්ද එක් විය. තිරෝද රථ වල සිටි සමහරුන් වයෝවෘධ මා පියන් වූ අතර සේලයින් බට ආදියද සමඟම ඔවුන් රැගෙන විත් තිබිණි. අප හුන් වාහනයටද තව බොහෝ දෙනා ගොඩ වූ අතර පූසන් බල්ලන් ඔසවාගෙන පයින්ම දුවන අයද හිඟ නොවීය.


සවස 5 පමණ ඇරඹි පිපිරුම කෙමෙන් වැඩි වුවත් රථ පෙරහැර මැද පයින් යනවාටත් වඩා හෙමින් යන වාහන පෙළ පූගොඩ පාලම උඩට ලඟා වන විට මඳ අඳුරක් පැවතිණි. එනිසාවෙන් අහස රත් පැහැ ගන්නවමින් වරින් වර නගින ගිනි දලු සැබැවින්ම මරණ බියක් දැනවීය.


මෙසේ පාලම උඩ වාහනද පයින් යන මිනිසුන්ද තෙරපී සිටි මොහොතේ නැඟුනු අති භයානක එක ශබ්දයක් හේතුවෙන් සියල්ලෝම විලාප තියන්නට පටන් ගත්හ. පාලම කඩා නොවැටුණේ කාගේ හෝ පිනකට විය යුතුය.


මේ සියල්ල සිදු වෙද්දී සියල්ලන්ට කලින් ක්‍රියාත්මක වූ තරුණ කැල පාර වන් වේ කර පාලනය නොකළානම් මේ කතාව මෙසේ නොවන්නට ඉඩ තිබුණි. කොතෙක් දුර ගමන් කළද පාර දිගේම ජනයාද මේ සෙනඟටම එක් වී දුවනවා මිස අනතුර පහව යන මානයක් පෙනෙන්නට නැත. තවත් දුර අතුරු පාරක් දිග ධාවනය වූ රථය පිට්ටනියකට විත් නතර විය.


අප සිටියේ වැලිවේරිය  නඳුන්ගමුව නම් ගම්මානයේය. වන විටත් එක සීරුවට ඇසෙන වෙඩි හඩ අසමින් රත් පැහැ අහසේ ගිනි දලු දකිමින් අප කට්ට කලුවරේ පිට්ටනියක් මැද තෙමෙමින් සිටියෙමු. නිවෙස් මානය සිතින් මවා ගැනීමට උත්සාහ ගන්න විට සිතට ආවේ නටඹුන් ගොඩක් පමණකි.


එක වරම විදුලි පන්දම් දල්වමින් පිට්ටනියට කඩා වැදුනු ගම් වැසියන් කිහිප දෙනෙකි.

 "ඕගොල්ලො සලාවෙ ඉඳලද ආවෙ?"

"යමු යමු. මේ පොඩි ළමයිනුයි වයසක අයයි එක්ක මෙතන මොකද කරන්නෙ. එන්න කට්ටියම මා පස්සෙන් එන්න. "

උස මහත තරුණයෙකි. ඔහු ඉස්සර විය. වන විට ඔවුන් මාද් ඔස්සේ ඇති තතු දැන සිටියහ. අප විසි දෙනෙකු පමණ පිරිසක් කුඩා ළමුන් මෙන් ඔහුට කීකරුව පසුපසින් ඇදුණෙමු.


කුඩා අතු පැලක දයාව උතුරා ගලා යන පොහොසත් සිත් හුඟක් විය. කහට තේද ක්‍රීම් ක්‍රැකර්ද අතට ලැබෙන්නට වැඩි වෙලවක් ගියේ නැත. අමුත්තන්ට නිවස ඇතුළේ ඉඩක් තිබුණේම නැත. අහළ පහළින් එකතු කරගත් ප්ලාස්ටික් පුටු මිදුලේ වටයක් සැදිණි.


තේ බී ඔවුන්ට නොවක් ස්තුති කළ අප නැවත් පාරට පැමිණියේ ඔවුන් අප නිසා පමණට වඩා කරදර වීම සිතට බරක් වූ බැවිනි. එහෙත් නැවත් දැඩි වූ වර්ෂාව මැද කොහේ යන්නදැයි නොදත්තෙමු. වැසි මැද තවත් ගෙපිලකට ගොඩ වැදුනෙමු. එහි මවක් දරුවෙකුට කවමින් සිටි අතර ඇය අපට ඉඳගන්නට පුටු දුන්නාය. මොහොතකින් අයස්සේම වැනි වූ මගේ පුතුටද කෑම පිඟානක් ලැබිනි. නම් නොදන්නා ඔවුන්ට පින්....


අතර පැමිණි පෙර කී කණඩායම අපව නඳුන්ගමුව ප්‍රජා ශාලාවට කැඳවාගෙන ගියහ. අපට වාඩිවන්නටයැයි කී ඔවුහු කෙටි බිත්ති දිගේ ඉටි පන්දම් පත්තු කරන්නට පටන් ගත්හ. දැන් රෑ අටත් පසු වී ඇති නිසා අපට රෑ ගත කිරීමට මෙතන සුදුසු බව ඔවුන් කියයි. වෙන විකල්පයක්ද නොමැත. අපට මෙවන් තැනක් හෝ ලැබුණත් අනෙකුත් ගම් වැසියක් කුමන අතකද කියාවත් නොදනිමු.


අප ප්‍රජා ශාලාවේ ඉන්නා බව කවුරුන්ගෙන් හෝ ඇයට දැනගන්නට ලැබී තිබුණි. පසුව දැනගත් පරිදි වාසනා අක්කාය. විදුලි පන්දමක් අතැතිව දුවගෙන ඇය අපව ඇගේ නිවෙසට කැන්දාගෙන ගියාය. තව අය ඉන්නවානම් කෝල් කර ගෙන්න ගන්නා ලෙස පැවසුවාය. කඩි මුඩියේ එහි විසි තිස් දෙනෙකුට නවාතෙන් සැකසිනි. අහල පහල අය කැඳවා ගත් වාසනා අක්කා උයන්න පටන් ගත්තාය. කවුදෝ දෙල් ගෙඩි ටිකක් උස්සන් ආවාය. කෑම ඉදෙන තුරු අපට TV බලන්නට කී ඔවුන් කඩි මුඩියේ වැඩ කළහ. අපට කෑම වේල ලැබුණේ අනාථයන් ලෙස නොවේ. ඇය ලස්සනය කෑම මේසයක් පිළියෙල කළාය. අපි අමුත්තන් මෙනි. අපේම අසල්වැසියන් පන්සල් වල සිය ගණනින් රොක් වී හඬමින් සිටින අයුරුද නැරඹුවෙමු.


සාලය මැද පැදුරු එලීමෙන් නොනැවතී පොඩි දරුවන් සිටින බැවින් කාමර වල ඇඳන් සූදානම් කිරීමටද ඇය පසුබට නොවූවාය. නමුත් කාටත් නින්දට සිතක් නොවීය.


මේ සියලු සත්කාර විඳ අලුයම වෙත්ම අප නැවත් නිවෙස් බලා පැමිණියෙමු. " අද ඕගොල්ලො මේ පැත්තට ආව. හෙට අපිට කරදරයක් වෙලා පැත්තට එන්න වෙයිද දන්නෙ නෑ." ඇයගේ වදන් මසිතින් මැකී නොයේ.


මේ සියල්ල සිදු වී අදට වසරකි. අපගේ නිවෙස් වලට කිසිදු හානියක් වී නොතිබිණි. පිළිස්සී කලු ගැහී තිබූ සාලාව කඳවුරේ මහ ගස්ද නව දලු කොළ වලින් හැඩ වී ඇත. අවට ජන ජීවිතද පිබිදී ඇත. බොහෝ දෙනාට මේ සියල්ල අමතකව ගොස් ඇත

එහෙත් .... මනුසත් බව ලැබූ දෙවිවරු වන් නඳුන්ගමුවේ සදුන් ගස් වැනි මිනිසුන් මට කිසිදා අමතක නොවේ.

Friday, March 24, 2017

මා මළ පසු ....


Tuesday, February 14, 2017

මිනිස්සු


       



මිනිස්සු මිනිස්සු මිනිස්සු ..
වාහන අරන් දුවන මිනිස්සු
මිනිස්සු අරන් දුවන වාහන

        වාහන නැති මිනිස්සු
        මිනිස්සු  නැති වාහන

පාර පුරා රෝද රෝද
පාර අයිනෙන් මිනිස් ගඟ

        අඳුරට කලින් ගමට දුවන මිනිස්සු
        මිනිසුන්ට කලින් ගමට දුවන අඳුර..

අන්තිම බසයට පොරකන මිනිස්සු
දිනන මිනිස්සු පරදින මිනිස්සු
අන්තිම බසයට පස්සෙ බසය එත්දැයි
මඟ බලන මිනිස්සු..

        මව් පිය සෙනෙහසට විකල්ප නැති නිසාවෙන්
        අදුරට කලින් ගෙදර දුවන මිනිස්සු ..

කලබල මිනිස්සු
කලබල නැති මිනිස්සු
පිට්සා හට් වල ෆුඩ් සිටි වල කල් මරන
කලබල නැති මිනිස්සු ..
ඒ ලඟ පිළිවෙලට  නවතා ඇති
මිනිස්සු නැති වාහන
ඒ දෙසවත් නොබලා හැල්මේ දුවන
වාහන නැති මිනිස්සු ..

අන්තිම බසයට පොරකන මිනිස්සු ...


Sunday, May 15, 2016



ගල් බොරළු විසිරුණු
එක වාරයක අවසන ..
 තව අළුත් වාරයක ඇරඹුම ..

සංසාර චක්කරේ වාගෙයි
ගුරු දිවිය.


අන්තරා භවයද
වාරාවසාන නිවාඩුව ?

කෙසේ පතමිද මම
නිවන.....?