Friday, February 23, 2018

දිනයක සුවඳ


සද බසින නිම්නෙක..
සීතල සුමුදු පින්නක
සේපාලිකා කුසුමක.
සුවද විදිමින් දිනක් අරඹමි...

කඩිමුඩියෙ ඒදන
අලුයම පිසෙන කලබල
වියන්ජනයක සුවදින් . .
අඩුවැඩිය ලුණු රසය හදුනමි.

දුවගොස් හනික ගොඩ වන
බසයේ නැහැපුඩු හකුලන..
පෙරදින පිළුණු මත්ගද.
දැනෙන කුණු දුම් රොටු ගද.
මැදින් සිප් හල වෙතට දුව යමි.   ...

අඩක් දින ගෙවු තැන ..
විවේකාගාරය තුළ  කහට තේ බදුනක.
 ( ඉදහිට කේක් සුවදත්..)
සුවද විදිමින් හැල්ම නවතමි.  ....

සුළු ඉඩක් ලද තැන
අත් බනුව දිග හැරගෙන..
පැරණි මිතුදම් වල
වියැකෙනා... ඒ සුවඳ විදගමි ...

දවල් කල නගරේ ....
අතැර ජවතැනි පථයේ...
තෙරපුනු රථයෙ දහඩිය. .
සමඟ විලවුන් සුවඳ විදගමි.

හෙන්දිරික්කා සුවඳට
මුසුවූ සදුන් සුසුවද  .
බුදු පුදන අතරේ. .
සෙනෙහසේ නිවහනට ගොඩවෙමි.
පෙරමගට එන පුතුගේ ..
හිසේ ගැල්වූ සුවඳ විදගමි.

සවසට කෝපි සුවඳත්
හිසේ රදයට බාම් සුවඳත් ..
ඇදුම් පෙගෙනා  සබන් සුවඳත්
අතර මෙහෙවර සමඟ කිමිදෙමි..

සද නගින නිම්නේ ...
රෑ කුමුදක සුවඳ විද...
කුටුම්බයෙ මුදු මිහිරි සුවදින්
දිනේ සරතැස නිවා සැනසෙමි.

රෑ ඇදේ වැතිරී..
නිදි නොනිදි සිත පතුලේ..
සිහිනයෙන් ගෑ සුවඳක
අනාගත සුබ සිහින නරඹමි.
...
සන්ද්‍යා ප්‍රියදර්ශනී

2 comments:

ඉපනැල්ල සරු බිමක් වී තව තවත් සුවද මල් පූදින්නට, ඔබේ තබන සටහන මල් වැස්සක්ම වේවා !!